Tuesday, October 27, 2015

අයිතිකරුවෙකු නැති

අයිතිකරුවෙකු නැති
අතරමැදියෙකුගෙන් අලෙවි වන
කල් ඉකුත්වීම අපැහැදිලි
භාවිතය ට ගත්
තවමත් භාවිතයට ගන්නා
වටිනාකමත් ස්ථීර නැති
අජීවි නොවන
පාරිභෝගික
වස්තුවකි....

Monday, October 26, 2015

"ආත්ම විශ්වාසය"

ජීවත් වෙන්නටත්
මියැදෙන්නටත්
ඉවහල් වන්නකි
මා හට
මා පිළිබඳ
ඔබ හට
ඔබ පිළිබඳ
තිබෙන්නා වූ
"ආත්ම විශ්වාසය"

Monday, October 19, 2015

පැටලිලා

අප්සරාවියක්
පැටලිලා
හැඟුමන් දැලක
මිදෙන්නට
බැරිකමට
නඟනවා
සෝ තැවුල්
හදවතින්
අකීකරු
ස්වරයකින්
කරමින්
ඇරයුමක්
රහසිගත...

Thursday, October 15, 2015

නිදි නැති රැයක

නිදි නැති රැයක
තනිවම ඉකිබිදින
පහන් තරුව
නුඹ...
සීතල සුළගින්
මා සිත සනසන
සුසුම් පවන
නුඹ....
අඩවන් දෑසින්
ආලය පවසන
පතිවතියයි
නුඹ....
නොකියා හෙමිහිට
පැන යන්නට ගිය
මුවැත්තියයි
නුඹ....

Monday, October 12, 2015

කෑල්ලක්

"පට්ට කෑල්ලක් නම්
ඉන්නවා මචං...
ෆේක් එකක්දෝ කියලත්
සැකයි මචං...
ඔන්න ඔහේ ට්‍රයි කරලම
බලමු මචං...
හායි කියලා මං එහෙනම්
කෙටුවා මචං.."

එන්නේ සමහරු
ෆේස් බුකියේ ලගින්නට..
තියෙන සායමත්
දියකර‍ගෙන යන්ට...
නොදනී මෙහි අගය
නිසිපරිදි ව ගන්ට..
දන්නා එකා යන්නෑ
කුණු ගාගන්ට....

කොම්පියුටරය වෙත
ඇස් ගෙඩි දෙක රන්දා...
ලොක් වෙනතුරු ඇගිලි
දවසෙම චැට් හන්දා...
වැඩකට ඇති දෙයක්
කෙරුවාදෝ මන්දා...
මොළගෙඩි වලට
හෙණ ගැහිලාදෝ මන්දා.....

Saturday, October 10, 2015

දුයිෂෙන්

දුයිෂෙන්,
මට ඔබ වන්
ශ්‍රේෂ්ඨ
ගුරුවරයෙකු වීමට
නොහැක....
නමුදු,
ඔබට
සදා පෙම් බැඳි
අල්තීනායි
වන බව නම්
පැහැදිලි ය....
පොප්ලර්
ගස් යුගල මෙන්
සදා නොමැකෙන
මතකයක්
වනු නිසැකය...

Friday, October 9, 2015

කදුළු කැට

රැයේ නොනිදන
පහන් තරුවකි
සදක් වන්
කළු ආකහේ...
දිදුලනා නෙතු
පැහැය විහිදෙයි
පුරා වත
තුන්තිස් පැයේ...
කදුළු කැට
මිණිකිරුළු පලදියි
සෙනෙහසේ
නාමෙන් නුඹේ....
අතැර නොයනෙමි
මෑණියේ මා,
දඩබ්බර
නුඹේ පුතනුවන්....

Thursday, October 8, 2015

බලා හිඳියි සඳකැන්

සඳත්
අඩදබර වී
අහසත් එක්කලා
අමනාපෙන්
තරු
නිහඬ ව
බලා හිඳියි
සඳකැන්
විහිදෙනා තුරු....

Wednesday, October 7, 2015

විදිනට ඒ සුවද.....

රූස්ස ගහක
පිපිලා සුවද පුංචි මලක්
දගකාරයි හරිම
අවිහිංසක දෑස
කෙළිලොල් බැල්මෙන්
කළඹවයි සිත් අරණ
අපහසු නමුදු
නෙළාගන්නට එමල
කරයි ආරාධනා
විදිනට ඒ සුවද.....

Sunday, October 4, 2015

දෙබරෙක්.....

ගනියි
විසිතුරු මලක රොන්
විසකුරු තුඩකින්
බල ලෝභි බඹරෙක් ...
පහව දමව්
ඌ...
බඹරෙකු නොව
දෙපා ඇති
දෙබරෙක්.....

Thursday, October 1, 2015

කළු කඩ

කළු කඩ මුදලාලියෙක්
රිංගලා ඕං මෙහෙටත්
අද හෙට විකුණයි
දූපතම
පවුල ගොඩගන්නට
ලැම්බෝගිනියක් වත් එපැයැ
පොඩි එකා සනසන්ට...
ඌ නොවැ
මීළගට
මහ එකා වන්නේ මෙහේ...
දැම්ම ම දැගලිල්ල
බලකායකුත් හදාගෙන
මගේ ම එකා නොවැ
ඉතින්
අප්පච්චිත් ඔය කියන්නෙ,
අඹ යහළුවත්
දැන් ඉතින්
ඉන්නව නොවැ
ආයිමත්....
දැන් ඉතින් මදෑ ඔය,
හතිවැටෙනවා නොවැ
අද හෙටම...........