Wednesday, September 30, 2015

සඳකැන්

උමතු වූ සෙනෙහසින් පිරි හදවත........................මවගේ
සිරුරේ දුවන ලේ කිරි වූවා................................ඇයගේ
දස මාසයක් දැරුවා මා කුසෙහි..........................ඇගේ
දහ දුක් වින්දා මව මතකයි සිතට.......................මගේ
පිළිසිඳ ගත්ත මා කුසයෙහි...........................දරාගෙන
දස මාසයක් සිටියේ දුක්................................දරාගෙන
බිහිකළ පසු ද මා ඇකයෙහි...................හොවාගෙන
නැළ වූ සැටි ද මතකයි කවි.....................කියාගෙන
දොයි දොයි කිය කියා මා නැළවූ..................අම්මේ
නැළවිලි ගී ගයා මා සැනසූ..........................අම්මේ
කුසගිනි දරා මා කුස පිරවූ............................අම්මේ
සදා ණයගැතියි මා ආදර..............................අම්මේ
ඉසිලිය නොහැකි දුක් ඉවසුවා මේ....................භවයේ
දෙවන බුදුන් කීවට පව් නෑ.......................මෙලොවේ
සිත තුළ රජව ඇති ඔබගේ දය‍ා....................ගුණේ
සමකළ හැකි වේද කවුරුන් හට.............මෙලොවේ
ගඟුලක් විලස ඇදුනා ආදරය......................ගලා
පවනක් විලස එතුනා මුළු ගතම................වෙළා
සඳකැන් විලස ආලෝකය......................පතුරාලා
සිහිපත් වෙනවා ඒ සෙනෙහස හද...........සසලා

Tuesday, September 29, 2015

මල්මාලතියේ

මල්මාලතියේ අවාරේ පිපුණු
පමා වුනමුදු නුඹ
නොවෙයි සම මල්වල ට සෙසු
සුපුෂ්පිතයි ඒ තරම් නුඹ....
මල්වනේ හද අරණ
පසාරු කරගෙන හමන
කුළුදුල් සුවඳ ට නුඹේ
ජෙලස්, නියඟලා මලට....
දෙවැනිය රැජිනි ද රෝස
පැහැය ට නුඹේ සුසිනිඳු
පැහැරගෙන නෙත් මගේ
ඒ සුන්දර පැහැය....
රැඟුවත් වෛවර්ණ මල්
පාමින් කොතෙක් විජ්ජා
නැත මට විචිකිච්ඡා
නුඹමයි නෙළන්නේ මා....
නොසිතනු මැන චකිත
සරසනු පිණිස මා
ඇත්තේ අවසර හදින්
නුඹ ට පමණයි නිමල.....
පැමිණි ද බඹරුන් මෙතෙක්
ගෙනයන්ට නුඹේ රොන්
අවසර නෑ උන්ට
නොඉඳුල් මලකි නුඹ....
පරනොවන ලෙස හෙටත්
පිපෙන්න ට මතුභවෙත්
අවසරයි මේ පටන්
නුඹට මගේ හදකමල.....!

Sunday, September 27, 2015

රූස්ස ගහක

රූස්ස ගහක
පිපිලා සුවද පුංචි මලක්
දගකාරයි හරිම
අවිහිංසක දෑස
කෙළිලොල් බැල්මෙන්
කළඹවයි සිත් අරණ
අපහසු නමුදු
නෙළාගන්නට එමල
කරයි ආරාධනා
විදිනට ඒ සුවද.....

Friday, September 25, 2015

ප්‍රේමයේ නාමයෙන්

අසම්මත පෙම් කවක්
මුමුණාවි නුඹ නමින්
නාදුනන පදවැලක්
ලැගුම් ගෙන ඒ හදින්....

පවන් වැල් හෙමි හෙමින්
කොඳුරාවි මතකයන්
සිතුම් රැල් විඳවමින්
විමසාවි නුඹ මගෙන්
සෝ තැවුල් නංවමින්....

වියෝ ගී නාදයෙන්
සවන් පෙති පුරවමින්
දැහැන් ගත වී හොරෙන්
ප්‍රේමයේ නාමයෙන්
උමතු ගී රාවයෙන්......

Wednesday, September 23, 2015

- මනෝමයා -

එදා සුන්දර බදාදාවක් විය. හන්දියේ මැගිලින් අම්මාගේ කඩෙන් ඉඟුරු දාපු ප්ලේන්ටියක් බොන්නට ඉටාගෙන මම බෝඩිමෙන් එළිපත්තට බැසීමි. ඒවේලාව ආකාශය අඳුර කරා පියනඟන රසබර සැඳෑ සමයක් විය. පෙනෙන එළියට වඩා නොපෙනෙන අඳුරට පෙම් බඳින මා හට ප්ලේන්ටියක් තොලගාමින් කවිපදයක් නඟන්නට තිබෙන සුදුසු ම නිමේෂය මෙය යැයි හැඟුණි. මෙසේ මාගේ ම සිතුවිලි සමඟ සොඳුරු ස්වසංවාදයක යෙදෙමින් ගුරුපාර දිගේ කෙමෙන් කෙමෙන් පියනඟන මා හට මැගිලින් අම්මාගේ තේ කඩේ දුප්පත් පොල්අතු වහල දිස්වූයේ, පිපාසයෙන් පෙලෙන මුව පොව්වෙකුට දුර ඈත දියපහරක් ඇහැගැටුනාක් මෙනි. ඉදින් මම තව තවත් වේගයෙන් අඩි තබන්නට වීමි. කෙතරම් වේගවත් වීද කියතොත්, සීඝ්රතගාමී දුම්රියක් නොවනමුදු මා මටත් නොදැනිම මාගේ ඉලක්කගත ස්ථානය වෙත ලඟා වී හමාරය. මම හනි හනිකට කඩේ දොරකඩ ට පිවිසුනෙමි.

මැගිලින් අම්මේ... මැගිලින් අම්මේ..., බොමුද උණු උණු ප්ලේන්ටියක් ?

කවුද බං මේ බෙරිහන් දෙන්නේ, හිතුවද මං බීරි හටනක් කියලා? ආ... මේ ප්රවනීත් කොලුවනේ, ඈඳිගෙන හිටපන් කොලුවෝ..... වතුර ටික තාම ලිපේ, තව ඩිංගෙන් උතුරයි...

හොඳමයි අම්මේ... සුපිරි ප්ලේන්ටියක් ගේන්න හො‍ඳේ....

අනේ බං, උඹේ ඔය අමුතු වචනවලින් මට තඩිබාන්න එපා බං... මට ඕවා හුරු නෑ බොල...

හිහ්.. හිහ්.. හී...

මැගිලින් අම්මාගේ එම ප්‍රකාශයට මඳ සිනාවක් පෑ මම දොරකඩ වූ බංකු ලෑල්ලේ වාඩි වුණෙමි. කාලය වැය වෙත්ම මම මාගේ සංකල්පනා චාරිකාව ඇරඹුවෙමි. වෙනත් උන් මෙන් මහමඟ රස්තියාදු ගහනවාට වඩා, මනෝලෝකයේ රස්තියාදු ගැසීම අතිශය සුන්දර රස්තියාදුවක් යැයි මාගේ මතයයි. මන්ද, කවුරුත් නොදකිනා අහුමුළු වෙත, සෞන්දර්යාත්මක වපසරියක් සමඟ ගනුදෙනුවක යෙදෙන මා තරම් ප්‍රීතිප්‍ර‍මෝදයෙන් සිටින්නෙකු තවත් වේද යන්න මා තුළ වූයේ දැඩි ආත්මාභිමානයකි.

කන්දේ දෙයියන්ගේ අඩවියෙන් ඇරඹී ඇද හැලෙන දියදහර කෙතරම් ආශ්වාදජනක ද, ඊට නුදුරින් පිහිටි වන ලැහැබ කෙතරම් ප්‍රාණවත් ද , ඉන් විටින් විට නැඟෙන පක්ෂී නාද සංධ්වනිය කොයිතරම් නම් අපූරු ගීතයක් ද. ඒ විතරක් නම් මදැ, ගුවන සිසාරා හමන පවන් රැලි මොනතරම් සිසිලසක් ගේනවද, මෙබඳු මනසාලංකෘත ස්වප්නයක වුව සැරිසැරීම ට ලැබීම ද මා ලද මහිමයකි.

ඈ බං., උඹට පයිත්තියන් ද, එහෙමත් නැත්නම් හොඳ නැති අසනීපයක් වත් ද? උඹ මෙහෙ ආවොත් එක්කෝ උඩ බලාගෙන, එක්කෝ හිටිහැටියේ අතුරුදහන්... ඕකනම් එච්චර හොඳ අසනීපයක් නම් නෙමෙයි පුතෝ....හොඳ වෙදෙක් බලලා බෙහෙත් වේලක් ගත්තොත් හොඳා....

ආ දැන්වත් මේ තේ ඩිංග බීපන්, ඇල්වෙනවා....

මැගිලින් අම්මා එල්ල කරපු ඒ වාග් ප්‍රහාරයට මා තිගැස්සුනේ, ප්‍රභාකරන්ගේ කොටි නාම්බෙක්වත් මේ ගමටත් බැහැලදෝ හා සම වූ චකිතයකිනි. මැගිලින් අම්මා මා හට සෑදු ප්ලේන්ටිය මා අසල තබා ගොස් මඳ වේලාවක් වන බව මට පත්තියන් වුනේ එවිට ය. එතෙක් මා අතරමං වී සිටියේ කොහේදැයි යලි යලිත් සිහිපත් කළ යුතු යැයි මම නොසිතමි.

ප්ලේන්ටියෙන් උගුරක් බී මා යලිත් මාගේ අපූරු චාරිකාව අරඹන්නට උත්සාහ කළ ද, කලින් පිවිසි ඒ අසිරිමත් ලෝකයට නැවත පිවිසීමට මා හට නොහැකි විය. මෙතෙක් මවිසින් පැහැර හැරි ඒ කෙටි නිමේෂය මා හට යලිත් ඒ වෙත පිවිසීමට ඇති පිවිසුම් ද්වාරය අවහිර කොට ඇති බව මාගේ සිත නැමැති දොරටුපාලකයාගෙන් දැනගන්නට ලැබුණි. ඒ නිසා මම ප්ලේන්ටිය උගුරෙන් උගුර රසවිඳිමින් ඈත අහසේ බටහිර කොණින් හිරු මලානික වන සැටි නරඹන්නට වීමි.

ඒ අතරතුර දී කිසියම් අපූර්ව සේයාරුවක් මා වෙත එන්නාක් බව මාගේ නෙත ගැටුනේ හිරුගේ මලානික වීම දරාගත නොහැකි ව යම්කිසි විප්ලවවාදී හැඟීමකින් ඒ විගස නැඟ එන, ආකාශය පුරා උද්ඝෝෂණ කරන රතු එළියක් ලෙසිනි. පසුව මම ඒ දෙස විපරම් කළෙමි. නමුත් තවමත් එය මාගේ නෙත් මානයට තරමක් දුරින් විය. එනමුදු මාගේ අවධානය දැන් ඒ වෙත ම වශිකෘත වී අවසන්. කාලයාගේ අවෑමෙන් ඒ සේයාරුව දැන් මා අබියස ය. සැබැවින් ම මෙය නම් විස්මයකි. මේ වන විට මා අබියස වූයේ අති සුන්දර යුවතියකි. අන්ධකාරය රජයන අහසට නැඟ ආ සඳසාවියක් මෙන් ඈ බබළන්නීය. මෙවැනි රුවක් නම් මා මෙතෙක් දැක නොමැත. සරසවියේ දෙවන වසරේ නිමාව ද ගෙවන මා හට එහිදී හෝ මෙබඳු යුවතියක් හමුවූයේ නැත. මගේ නෙත් මට ම අදහා ගත නොහැක. සඳ වටකර දිලෙන තාරකා සමූහයක් මෙන් අලංකෘත වූ, දණහිස දක්වා ඇඳ තිබුනු ඇයගේ රතුමල් ගවුම් පොඩ්ඩ ට ඈ තවත් ලස්සනයි. ගෙලට මඳක් පහළට වන්ට කර පෙදෙස නිම ව තුබූ ඒ ගවුමට ද ඇගේ සුන්දරත්වය නොමඳ ව දිලුණි. ඉදිරියට මඳක් නෙරා ආ ඇගේ පියයුරු යුවල, පුළුල් උකුල මේ තරම් චාම් ගවුමට ද තරමක් අකීකරු ගති පෑම මා අතීතයට ගෙන ගියේ උසස් පෙළ දී උගත් ගිරාවේ කවි පදයක් ද සිහිකැඳවමිනි. එතරම් ඈ සොඳුරු කෙල්ලකි. ඇයගේ දිගු නීල වරලස මා දුටුවේ, මින් පෙර මා සැරිසැරූ අපූරු මනෝ සිත්තමේ හමුවූ දියදහර පරිද්දෙනි. ඇගේ රුව මා දුටුවේ මනෝලෝකයෙන් මිදී මෙහි සපැමිණි මා වෙත, මීට එහා ලෝකයකින් එවන ලද සුරඟනක් මෙනි. ඈ එතරම් සුරූපී ය. ඇගේ සිහින් දිගැටි නෙත් යුග්ම මා හද සසල කරවන තරම් අවිහිංසක බැල්මෙන් සුපුෂ්පිත විය. ඒ නිසා ම ඇයට මා වශිකෘත කරගැනීමට වැඩි කාලයක් ගතවූයේ නැත. ඇයගේ නෙත් පහර එතරම් බලවත් විය.

මා පසුකර ගිය ඇය මැගිලින් අම්මාගේ කඩේ පිළිකන්නෙන් ගෙපැලට ම ඇතුළු වූවාය. ඒ පිවිසුම නම් මා තුළ ඇති කළේ දැඩි කුතුහලයකි. මා නිතර ගැවසෙන මෙහි අද වනතුරු මෙවැනි පතිවතියක් දැක නොමැත. එකවර කඩාවැදුනු මේ ආගන්තුකාවිය මැගිලින් අම්මාගේ ගෙපැල ට පිවිසුනේ එහි උරුමක්කාරිය පරිද්දෙනි. මෙය නම් විමර්ශනය කළයුතු ම කරුණකි. මේ වන විට නම් ඇය මාව රහස්පරීක්ෂකයෙකු බවට පත්කොට ඇත.

මා සිත්හි හටගත් මේ කුතුහලය සන්සිඳවනු වස් තව ටික මොහොතක් මෙහි රැඳී සිටීමට තීරණය කළෙමි. සැබැවින් ම මැය කවුද ? කොහේ සිට පැමිණියේ ද? කාගේ කවුරු ද? යැයි මා තුළ දැන් ප්‍රශ්න පත්‍රයකි. එනමුදු මගේ සිතුවිලි එයට පිළිතුරු සපයන්නට මැලිවනු මට දැනේ. මින් මා දැඩි නොසන්සුන්තාවයක ට පත්විය. මීට පෙර මගේ සිත මෙලෙස මා හට ම අකීකරු වී නොමැත. නමුදු අද මගේ සිත කැළඹී ඇත. ඇයි ද මේ? මා සිත තුළ මැය කෙරෙහි දක්වන උනන්දුව ම මා තදින් පෙළන්නට විණි.

මා දන්නා තරමට නම් මැගිලින් අම්මා හතළිස් පස් හැවිරිදි අවිවාහක ගම්බද තනිකඩ ස්ත්‍රියකි. ඈ මෙහි ගෙවන්නේ කටුක වූද , හුදෙකලා වූද, අවිහිංසක ජීවිතයකි. එනමුදු ඈ මා වගේ ම මේ ගමෙහි වෙසෙන තරුණ තරුණියන් ට සෙනෙහෙබර මවකි. ඒ කෙසේ වෙතත් කිසිඳු හව්හරණක් නොදන්නා මේ ආගන්තුක තරුණියගේ සම්ප්‍රාප්තිය මා තුළ වූ උපරිම සද්භාවය, අද්භූතජනක විකාර රූපී සිතුවිලිවලට පරිවර්තනය කොට හමාරය. ඇය වැනි මායාරූපී සුරූපිනියක් මැගිලින් අම්මා වැනි තනිකඩ ගැහැනියක් සමඟ එක්ව වසන්නේ ද යන්න මා තුළ ප්‍රශ්න නඟන්නේ, කොළඹ ජීවිතයේ අවට පව්කාරකම් ද මතකයට නංවමිනි. සැබැවින් ම ඇය කුමනාකාරයේ චරිතයක් ද? මෙතෙක් මා මෙහිදී හෝ මීට ආසන්න තැනකදී හෝ කිසිදිනෙක නේත්‍රාස්පර්ශ වී නොමැති මේ යුවතිපතියට මැගිලින් අම්මාගේ ගෙපැල මනාව හුරුපුරුදු ය. මැගිලින් අම්මාට ද මැය නුහුරු නැති හැඩයි. මා දැන් මානසික ලෙඩෙක් හා සමාන තරම් මානසික ව කැළඹී ඇත. මැය කවුරුන් දැයි දැනගත යුතු නමුදු තවත් මෙහි රැඳී සිටීම මා අංගොඩ මානසික රෝගී භවනට කැඳවාගෙන යා හැකි තරමේ ප්‍රකෝපකාරී සංසිද්ධියකි. එබැවින් දැන් මා මෙතැනින් නික්ම යා යුතුව ඇත.

මා නැවතත් බෝඩිම බලා නික්මුණි. ගුරුපාරේ අතරින් පතර ඇති ගල්කැටවටල පා ප්‍රහාර එල්ල කරමින් මම ගමන ගෙවන්නට වුනෙමි. බෝඩිමට යන අතරමඟදී ද මා සිත්තුළ හොල්මන් කළේ අර ආගන්තුක යුවතිය යි. ඈ එතරම් හිතට වදින එකියකි. අවිනිශ්චිත ගති පෑ ඇය කිනම් චරිතයක උරුමක්කාරියක් දැයි මා සිත දවමින් පවතී. කෙසේ වුවද මේ වන විට මාගේ හැඟුමන් දැන් ඇය විසින් ආක්‍රමණය කොට ඇත. මගේ සිත දැන් මා සමඟ ම අරගල කරනු පෙනේ. මේ කුතුහලය සන්සිඳවා ගන්නා තුරුම මා සමඟ මගේ සිතුවිලි සටන්වදින බව මගේ ඇඟ නහරවල දිවයන රක්ත වර්ණ රුධිර සම්පීඩනයෙන් ම මට දැනේ. එදින මම නින්දට වැටුනේ ද "මේ නින්දේ දී හෝ මාගේ සිතට සැනසීමක් ලැබේවා !" යන ප්‍රාර්ථනා පාඨය ද කැටුව බව සිහිගැන්වීමට කැමැත්තෙමි.


Monday, September 21, 2015

- මුහුණ එක්ක තරහවෙලා -

ඇස් රතු කරගෙන
ඳුළුත් එක්කලා
වාද කර කර
මුවත් ගොළුයි
ඉකිබිඳුම් ඇසෙයි
හදවත ඉරාගෙන එන
මෙන්න මේ හටන
මූණත් එක්ක ම තරහවෙලා...


- දෑවැද්ද -

ඕං තවත් ලස්සන දවසක් උදා වුනා. අද ඉරිදා උනත් අද තමයි මං කාර්යබහුල ම දවස. හිතට මොකද්දෝ මහා සැහැල්ලුවක් එක්ක ම පුංචි කම්මැලිකමකුත් දැනෙනවා. ඒත් අද වැඩ කළොත් මගේ පර්ස් එකේ බර වැඩි වෙනවා. සතියේ දවසක් නිවාඩුවක් දාන්න බැරියැ. මොකද මේකේ වැඩ කරන දවස් වගේ ම නිවාඩු දවස් තීරණය කරන්නෙත් මම. මේක අයිතිවෙන්නේ අර ඔයාලා කියන ස්වයං රැකියා ගණයට. ඒකත් මරු හැබැයි. ඒවා කොහොම උනත් දැන් මගේ දවස අරඹන්නට කාලය ඇවිදින්.

හ්ම්......ඇඟට වතුර ටිකක් වැටුනට පස්සේ තියෙන සනීපේ. මුළු සර්වාංගෙට ම හොඳ කික් එකක් ආවා. දැන් නම් කම්මැලිකම පේන තෙක්මානෙක නෑ. අද හොඳ අශ්වයෝ ටිකක් අල්ල ගන්න පුළුවන් දවස. මොකද උනුත් නිවාඩු පාඩුවෙ ඉන්නේ අදනේ. ඉතින් අද තමයි උන්ට මාව මතක් වෙන දවස. රිලැක්ස් වෙන්න එපැයි උන්ට එක දවසක් හරි සතියේ. අද ඉතින් උන්ගේ තොන්ඩුව මා අතේ.

මං ඉතින් රෑට වැඩ කරන්නේ නෑනේ. උදේ 9 ට ගියාම ආයිමත් 5 හෝ 6 වෙද්දී බෝඩිමේ. ප්‍රවාහන ගාස්තුවකුත් නෑනේ. පැය 24 ම උනත් මට ට්‍රාන්ස්පෝර්ට් නොමිලේ. ඒ වියදමත් ඉතුරුයි ඉතින්. මේක තමයි ආශ්චර්යය. මොන රස්සාව කළත් වෙලාවක් කලාවක් තියෙන්න එපැයි. නැත්නම් බෝඩිමේ ඇන්ටිත් බලයි මේකි කරන රස්සාව මොකක් ද, යන වේලාවකුත් නෑ හරියට, එන වෙලාවකුත් නෑ කියලා. මං කැමති නෑ එක එකාගෙන් කතා අහන්න. අපි මොනා කළත් පිට උන්ට තියෙන්නේ අපිට නැති ඇම්මක් නේ. ඒ නිසා මොන දේ කළත් පිට උන්ට සැක හිතෙන්න කරන්න නරකයි. මොකද ඒක අපේ චරිතෙට හරි නෑනේ, මගේ වයසේ අනිත් උන් කියනවා වගේ. සල්ලිවලට ඕනවට වඩා පෙරේත වෙන්න හොඳ නෑ. එතකොට යාදෙන්නේ නෑලු.

මට එහෙම පෙරේත වෙන්න උවමනාවකුත් නෑ අනේ... ඔය පැය 8 ට මට වැඩ 6 ක් වත් අඩු ම සෙට් වෙනවා. වැඩ 6 ක් ආවා කියන්නේ සාමාන්‍ය එකෙක් රෑ එළිවෙනකන් මැරිලා මැරිල හම්බකරන සතියේ පඩිය මං දවසට හොයනවා. ඒත් මේ රස්සාව හැමෝට ම මං වගේ ලස්සනට කරන්න බෑ. ජීවිත අවදානම වැඩියි. අපේ මිනිස්සු ජීවිතේ ට අවදානමක් ගන්න කැමති නෑනේ. මං ගැන හොයන්නත් මගේ කියලා කවුරුත් නැති එකේ මං මොකට ද ඔය කියන අවදානමට බය වෙන්නේ. කෙල්ලෙක් උනත් මගේ හිත දැන් හරි හයිය යි. නැත්නම් නිකන් ලැබුනත් මේ වගේ රස්සාවක් තෝරගනියි ද මං.

මාත් එක්ක වැඩ කරන අනිත් කෙල්ලෝ මා එක්ක පට්ට ගේම. මට තරම් උන්ට වැඩ නෑ ඒකයි. ඉතින් මට ගේමක් නෑ උන් එක්ක. අනික උන්ට මා එක්ක ගොඩක් ම තරහ උන් කොච්චර ට්‍රයි කළත් වැඩ අල්ලගන්න අමාරුයි. මං ට්‍රයි නොකරත් වැඩ මගේ ලඟට එනවා. ඕකට තමා කියන්නේ දෙන දෙයියො ටොකු ඇන ඇන දෙනවා කියලා. ඒකත් පෙර පින. මට එන රෑ වැඩ මං අනිත් උන්ට බෙදලා දෙනවා. මං රෑ වැඩ කරන්නේ නෑනේ ඉතින්. ඒ වෙලාවට නම් උන් මට පණ ඇරලා. බටර් පාරවල් දෙනවා හෝසෙට. ඒ දවස් වලට උන් එදා රැය ගත කරන්න උන්ගේ ගෙදරට අඩගහනවත් එක්ක ආදරේ වැඩි කමට මට ආතල් දෙන්න. පිස්සු කෙල්ලෝ. ඉතින් මට තනියම හිනා අනේ... අනික මං මට එන හැම වැඩක් ම බාර ගන්නේ නෑ. හොඳට හොයල බලලා තමයි බාරගන්නේ. මොකද මගේ වටිනාකම චොර කරගන්න ඕනේ නෑනේ සල්ලිවලට ම වහල් වෙලා. මුලින් ම අපි අපි ව හඳුනගන්න ඕන.

මං මේවා කාටවත් කියන්නේ නෑ. ඒත් මේවා අපේ ෆීල්ඩ් එකට සෙට් වෙලා ඉන්න අලුත් කෙල්ලෝ දැනගන්න ඕන දෙවල්. මේක හොඳට හම්බකරන්න පුළුවන් ෆීල්ඩ් එකක්. සමහර වෙලාවට රටකට පදිංචියට ම යන්නත් චාන්ස් එනවා. ඒ වගේ ම මේක තමන්ගේ ජීවිතේ නන්නත්තාර වෙන්න පුළුවන් ෆීල්ඩ් එකක් කියලත් මතක තියාගන්න ඕන.

මට නම් මේක මගේ අම්මගෙන් උරුම වෙච්ච එකක් නිසා අවුලක් නෑ. මං බඩේ ඉද්දි ම මට මේ experience එක ලැබුනා. මගේ "අම්මා" කියන නාම පදය එයාගේ වටිනාකම තේරුම් අරගෙන නොතිබුන නිසා මං බඩේ ඉද්දි ම ඒ පුහුණු ව ලැබුවා. ඒත් මං තාම මගේ අම්මා කවුද, තාත්තා කවුද කියලා දන්නේ නෑ තාමත්. මට ඒක දැනගන්න ආසාවකුත් නෑ. මේ ඕපපාතික ජීවිතය මට දැන් බොහොම හුරුයි. එක අතකින් ඒකෙත් පොඩි ආතල් එකක් තියෙනවා. ඒත් ඒක හරි පව්කාර ආතල් එකක් කියලත් මට දැනෙනවා. නමුත් කරන්න දෙයක් නෑ, මට උපතින් ම උරුම වෙච්ච දෑවැද්ද නේ මේක. කිසිම අධ්‍යාපනික සුදුසුකමක්, වෘත්තිමය සුදුසුකමක් නැති මට මේ වගේ ආදායමක් ලබන්න පුළුවන් උනේ ඒ දෑවැද්ද නිසානේ. මට තියෙන්නෙ බාහිර රූපෙ ලස්සන විතරයි.

මට තව වයස තියෙන නිසා මට මේකෙන් හොඳට හම්බකරගන්න පුළුවන්. දැනටම මට බැංකු පොත් තුන හතරක් ම තියෙනවා. ඒත් මං තාම ඉන්නේ බෝඩිමක. මටත් තිබුනා මගේ මායම් 64 උපයෝගී කරගෙන හොඳ කොල්ලෙක් දැලේ දා ගන්න. ඒත් මට ඒ වගේ පව්කාරකමක් කරන්න හිතෙන්නෙ නෑ. නැත්නම් කවුරු හරි ඇමතියෙක් ගේ කරේ එල්ලෙන්නත් බැරි කමක් නෑ. ඒත් මං ඔවුන්ට අල්ලන ප්‍රසිද්ධ, සුපිරි ගණයේ ගණිකාවක් වෙන්න කැමති නෑ. මොකද මං මගේ උවමනාවක ට ගණිකාවක් වෙච්ච කෙල්ලෙක් නෙමෙයි. ඒකයි මගේ වෙනස...!