Wednesday, September 23, 2015

- මනෝමයා -

එදා සුන්දර බදාදාවක් විය. හන්දියේ මැගිලින් අම්මාගේ කඩෙන් ඉඟුරු දාපු ප්ලේන්ටියක් බොන්නට ඉටාගෙන මම බෝඩිමෙන් එළිපත්තට බැසීමි. ඒවේලාව ආකාශය අඳුර කරා පියනඟන රසබර සැඳෑ සමයක් විය. පෙනෙන එළියට වඩා නොපෙනෙන අඳුරට පෙම් බඳින මා හට ප්ලේන්ටියක් තොලගාමින් කවිපදයක් නඟන්නට තිබෙන සුදුසු ම නිමේෂය මෙය යැයි හැඟුණි. මෙසේ මාගේ ම සිතුවිලි සමඟ සොඳුරු ස්වසංවාදයක යෙදෙමින් ගුරුපාර දිගේ කෙමෙන් කෙමෙන් පියනඟන මා හට මැගිලින් අම්මාගේ තේ කඩේ දුප්පත් පොල්අතු වහල දිස්වූයේ, පිපාසයෙන් පෙලෙන මුව පොව්වෙකුට දුර ඈත දියපහරක් ඇහැගැටුනාක් මෙනි. ඉදින් මම තව තවත් වේගයෙන් අඩි තබන්නට වීමි. කෙතරම් වේගවත් වීද කියතොත්, සීඝ්රතගාමී දුම්රියක් නොවනමුදු මා මටත් නොදැනිම මාගේ ඉලක්කගත ස්ථානය වෙත ලඟා වී හමාරය. මම හනි හනිකට කඩේ දොරකඩ ට පිවිසුනෙමි.

මැගිලින් අම්මේ... මැගිලින් අම්මේ..., බොමුද උණු උණු ප්ලේන්ටියක් ?

කවුද බං මේ බෙරිහන් දෙන්නේ, හිතුවද මං බීරි හටනක් කියලා? ආ... මේ ප්රවනීත් කොලුවනේ, ඈඳිගෙන හිටපන් කොලුවෝ..... වතුර ටික තාම ලිපේ, තව ඩිංගෙන් උතුරයි...

හොඳමයි අම්මේ... සුපිරි ප්ලේන්ටියක් ගේන්න හො‍ඳේ....

අනේ බං, උඹේ ඔය අමුතු වචනවලින් මට තඩිබාන්න එපා බං... මට ඕවා හුරු නෑ බොල...

හිහ්.. හිහ්.. හී...

මැගිලින් අම්මාගේ එම ප්‍රකාශයට මඳ සිනාවක් පෑ මම දොරකඩ වූ බංකු ලෑල්ලේ වාඩි වුණෙමි. කාලය වැය වෙත්ම මම මාගේ සංකල්පනා චාරිකාව ඇරඹුවෙමි. වෙනත් උන් මෙන් මහමඟ රස්තියාදු ගහනවාට වඩා, මනෝලෝකයේ රස්තියාදු ගැසීම අතිශය සුන්දර රස්තියාදුවක් යැයි මාගේ මතයයි. මන්ද, කවුරුත් නොදකිනා අහුමුළු වෙත, සෞන්දර්යාත්මක වපසරියක් සමඟ ගනුදෙනුවක යෙදෙන මා තරම් ප්‍රීතිප්‍ර‍මෝදයෙන් සිටින්නෙකු තවත් වේද යන්න මා තුළ වූයේ දැඩි ආත්මාභිමානයකි.

කන්දේ දෙයියන්ගේ අඩවියෙන් ඇරඹී ඇද හැලෙන දියදහර කෙතරම් ආශ්වාදජනක ද, ඊට නුදුරින් පිහිටි වන ලැහැබ කෙතරම් ප්‍රාණවත් ද , ඉන් විටින් විට නැඟෙන පක්ෂී නාද සංධ්වනිය කොයිතරම් නම් අපූරු ගීතයක් ද. ඒ විතරක් නම් මදැ, ගුවන සිසාරා හමන පවන් රැලි මොනතරම් සිසිලසක් ගේනවද, මෙබඳු මනසාලංකෘත ස්වප්නයක වුව සැරිසැරීම ට ලැබීම ද මා ලද මහිමයකි.

ඈ බං., උඹට පයිත්තියන් ද, එහෙමත් නැත්නම් හොඳ නැති අසනීපයක් වත් ද? උඹ මෙහෙ ආවොත් එක්කෝ උඩ බලාගෙන, එක්කෝ හිටිහැටියේ අතුරුදහන්... ඕකනම් එච්චර හොඳ අසනීපයක් නම් නෙමෙයි පුතෝ....හොඳ වෙදෙක් බලලා බෙහෙත් වේලක් ගත්තොත් හොඳා....

ආ දැන්වත් මේ තේ ඩිංග බීපන්, ඇල්වෙනවා....

මැගිලින් අම්මා එල්ල කරපු ඒ වාග් ප්‍රහාරයට මා තිගැස්සුනේ, ප්‍රභාකරන්ගේ කොටි නාම්බෙක්වත් මේ ගමටත් බැහැලදෝ හා සම වූ චකිතයකිනි. මැගිලින් අම්මා මා හට සෑදු ප්ලේන්ටිය මා අසල තබා ගොස් මඳ වේලාවක් වන බව මට පත්තියන් වුනේ එවිට ය. එතෙක් මා අතරමං වී සිටියේ කොහේදැයි යලි යලිත් සිහිපත් කළ යුතු යැයි මම නොසිතමි.

ප්ලේන්ටියෙන් උගුරක් බී මා යලිත් මාගේ අපූරු චාරිකාව අරඹන්නට උත්සාහ කළ ද, කලින් පිවිසි ඒ අසිරිමත් ලෝකයට නැවත පිවිසීමට මා හට නොහැකි විය. මෙතෙක් මවිසින් පැහැර හැරි ඒ කෙටි නිමේෂය මා හට යලිත් ඒ වෙත පිවිසීමට ඇති පිවිසුම් ද්වාරය අවහිර කොට ඇති බව මාගේ සිත නැමැති දොරටුපාලකයාගෙන් දැනගන්නට ලැබුණි. ඒ නිසා මම ප්ලේන්ටිය උගුරෙන් උගුර රසවිඳිමින් ඈත අහසේ බටහිර කොණින් හිරු මලානික වන සැටි නරඹන්නට වීමි.

ඒ අතරතුර දී කිසියම් අපූර්ව සේයාරුවක් මා වෙත එන්නාක් බව මාගේ නෙත ගැටුනේ හිරුගේ මලානික වීම දරාගත නොහැකි ව යම්කිසි විප්ලවවාදී හැඟීමකින් ඒ විගස නැඟ එන, ආකාශය පුරා උද්ඝෝෂණ කරන රතු එළියක් ලෙසිනි. පසුව මම ඒ දෙස විපරම් කළෙමි. නමුත් තවමත් එය මාගේ නෙත් මානයට තරමක් දුරින් විය. එනමුදු මාගේ අවධානය දැන් ඒ වෙත ම වශිකෘත වී අවසන්. කාලයාගේ අවෑමෙන් ඒ සේයාරුව දැන් මා අබියස ය. සැබැවින් ම මෙය නම් විස්මයකි. මේ වන විට මා අබියස වූයේ අති සුන්දර යුවතියකි. අන්ධකාරය රජයන අහසට නැඟ ආ සඳසාවියක් මෙන් ඈ බබළන්නීය. මෙවැනි රුවක් නම් මා මෙතෙක් දැක නොමැත. සරසවියේ දෙවන වසරේ නිමාව ද ගෙවන මා හට එහිදී හෝ මෙබඳු යුවතියක් හමුවූයේ නැත. මගේ නෙත් මට ම අදහා ගත නොහැක. සඳ වටකර දිලෙන තාරකා සමූහයක් මෙන් අලංකෘත වූ, දණහිස දක්වා ඇඳ තිබුනු ඇයගේ රතුමල් ගවුම් පොඩ්ඩ ට ඈ තවත් ලස්සනයි. ගෙලට මඳක් පහළට වන්ට කර පෙදෙස නිම ව තුබූ ඒ ගවුමට ද ඇගේ සුන්දරත්වය නොමඳ ව දිලුණි. ඉදිරියට මඳක් නෙරා ආ ඇගේ පියයුරු යුවල, පුළුල් උකුල මේ තරම් චාම් ගවුමට ද තරමක් අකීකරු ගති පෑම මා අතීතයට ගෙන ගියේ උසස් පෙළ දී උගත් ගිරාවේ කවි පදයක් ද සිහිකැඳවමිනි. එතරම් ඈ සොඳුරු කෙල්ලකි. ඇයගේ දිගු නීල වරලස මා දුටුවේ, මින් පෙර මා සැරිසැරූ අපූරු මනෝ සිත්තමේ හමුවූ දියදහර පරිද්දෙනි. ඇගේ රුව මා දුටුවේ මනෝලෝකයෙන් මිදී මෙහි සපැමිණි මා වෙත, මීට එහා ලෝකයකින් එවන ලද සුරඟනක් මෙනි. ඈ එතරම් සුරූපී ය. ඇගේ සිහින් දිගැටි නෙත් යුග්ම මා හද සසල කරවන තරම් අවිහිංසක බැල්මෙන් සුපුෂ්පිත විය. ඒ නිසා ම ඇයට මා වශිකෘත කරගැනීමට වැඩි කාලයක් ගතවූයේ නැත. ඇයගේ නෙත් පහර එතරම් බලවත් විය.

මා පසුකර ගිය ඇය මැගිලින් අම්මාගේ කඩේ පිළිකන්නෙන් ගෙපැලට ම ඇතුළු වූවාය. ඒ පිවිසුම නම් මා තුළ ඇති කළේ දැඩි කුතුහලයකි. මා නිතර ගැවසෙන මෙහි අද වනතුරු මෙවැනි පතිවතියක් දැක නොමැත. එකවර කඩාවැදුනු මේ ආගන්තුකාවිය මැගිලින් අම්මාගේ ගෙපැල ට පිවිසුනේ එහි උරුමක්කාරිය පරිද්දෙනි. මෙය නම් විමර්ශනය කළයුතු ම කරුණකි. මේ වන විට නම් ඇය මාව රහස්පරීක්ෂකයෙකු බවට පත්කොට ඇත.

මා සිත්හි හටගත් මේ කුතුහලය සන්සිඳවනු වස් තව ටික මොහොතක් මෙහි රැඳී සිටීමට තීරණය කළෙමි. සැබැවින් ම මැය කවුද ? කොහේ සිට පැමිණියේ ද? කාගේ කවුරු ද? යැයි මා තුළ දැන් ප්‍රශ්න පත්‍රයකි. එනමුදු මගේ සිතුවිලි එයට පිළිතුරු සපයන්නට මැලිවනු මට දැනේ. මින් මා දැඩි නොසන්සුන්තාවයක ට පත්විය. මීට පෙර මගේ සිත මෙලෙස මා හට ම අකීකරු වී නොමැත. නමුදු අද මගේ සිත කැළඹී ඇත. ඇයි ද මේ? මා සිත තුළ මැය කෙරෙහි දක්වන උනන්දුව ම මා තදින් පෙළන්නට විණි.

මා දන්නා තරමට නම් මැගිලින් අම්මා හතළිස් පස් හැවිරිදි අවිවාහක ගම්බද තනිකඩ ස්ත්‍රියකි. ඈ මෙහි ගෙවන්නේ කටුක වූද , හුදෙකලා වූද, අවිහිංසක ජීවිතයකි. එනමුදු ඈ මා වගේ ම මේ ගමෙහි වෙසෙන තරුණ තරුණියන් ට සෙනෙහෙබර මවකි. ඒ කෙසේ වෙතත් කිසිඳු හව්හරණක් නොදන්නා මේ ආගන්තුක තරුණියගේ සම්ප්‍රාප්තිය මා තුළ වූ උපරිම සද්භාවය, අද්භූතජනක විකාර රූපී සිතුවිලිවලට පරිවර්තනය කොට හමාරය. ඇය වැනි මායාරූපී සුරූපිනියක් මැගිලින් අම්මා වැනි තනිකඩ ගැහැනියක් සමඟ එක්ව වසන්නේ ද යන්න මා තුළ ප්‍රශ්න නඟන්නේ, කොළඹ ජීවිතයේ අවට පව්කාරකම් ද මතකයට නංවමිනි. සැබැවින් ම ඇය කුමනාකාරයේ චරිතයක් ද? මෙතෙක් මා මෙහිදී හෝ මීට ආසන්න තැනකදී හෝ කිසිදිනෙක නේත්‍රාස්පර්ශ වී නොමැති මේ යුවතිපතියට මැගිලින් අම්මාගේ ගෙපැල මනාව හුරුපුරුදු ය. මැගිලින් අම්මාට ද මැය නුහුරු නැති හැඩයි. මා දැන් මානසික ලෙඩෙක් හා සමාන තරම් මානසික ව කැළඹී ඇත. මැය කවුරුන් දැයි දැනගත යුතු නමුදු තවත් මෙහි රැඳී සිටීම මා අංගොඩ මානසික රෝගී භවනට කැඳවාගෙන යා හැකි තරමේ ප්‍රකෝපකාරී සංසිද්ධියකි. එබැවින් දැන් මා මෙතැනින් නික්ම යා යුතුව ඇත.

මා නැවතත් බෝඩිම බලා නික්මුණි. ගුරුපාරේ අතරින් පතර ඇති ගල්කැටවටල පා ප්‍රහාර එල්ල කරමින් මම ගමන ගෙවන්නට වුනෙමි. බෝඩිමට යන අතරමඟදී ද මා සිත්තුළ හොල්මන් කළේ අර ආගන්තුක යුවතිය යි. ඈ එතරම් හිතට වදින එකියකි. අවිනිශ්චිත ගති පෑ ඇය කිනම් චරිතයක උරුමක්කාරියක් දැයි මා සිත දවමින් පවතී. කෙසේ වුවද මේ වන විට මාගේ හැඟුමන් දැන් ඇය විසින් ආක්‍රමණය කොට ඇත. මගේ සිත දැන් මා සමඟ ම අරගල කරනු පෙනේ. මේ කුතුහලය සන්සිඳවා ගන්නා තුරුම මා සමඟ මගේ සිතුවිලි සටන්වදින බව මගේ ඇඟ නහරවල දිවයන රක්ත වර්ණ රුධිර සම්පීඩනයෙන් ම මට දැනේ. එදින මම නින්දට වැටුනේ ද "මේ නින්දේ දී හෝ මාගේ සිතට සැනසීමක් ලැබේවා !" යන ප්‍රාර්ථනා පාඨය ද කැටුව බව සිහිගැන්වීමට කැමැත්තෙමි.


No comments:

Post a Comment